කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්

orugodawatta-container

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළ හැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණු බවයි සඳහන් වෙන්නේ.

අද (14) උදෑසන වනවිට දොරටු අවසරපත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී ඇති බවත් අද නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.