ජනාධිපතිවරණට අපේක්ෂකයින් වැඩිවන විට, සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් මිලියන 200ක අතිරේක වියදමක් යනවා – මැතිවරණ කොමසාරිස්

saman-sri-rathnayake-1[1]

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් වැඩිවන විට, ඒ වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් මිලියන 200ක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා සිටියා.

මතවාදමය වශයෙන් ජනාධිපතිවරණය නියෝජනය කිරීම ගැටළුවක් නොවන බවත්, නමුත් බොහෝ දෙනා අපේක්ෂකත්වය ලබාගන්නේ මාධ්‍ය ආවරණ කාලය ලබාගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ වෙනත් එවැනි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් බව ද ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළා.

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කළ හැකි ඡන්ද පත්‍රිකාවක උපරිම දිග අඟල් 27.5 ක් බවත්, ඒ ප්‍රමාණය ඉක්මවා ගියහොත්, පේළි දෙකකට පත්‍රිකාව මුදුණය කිරීමට සිදුවන බවයි කොමසාරිස්වරයා පවසා සිටියේ.

එසේ වූ විට ඡන්ද පෙට්ටියකට බහාලිය හැකි ඡන්ද පත්‍රිකා ගණන අඩු වන නිසා ඡන්ද පෙට්ටි ගණන වැඩි වන බව ද, ඒ හේතුවෙන් ප්‍රවාහන වියදම් ඇතුළු සියළු වියදම් ඉහළ යන බව ද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය ජනාධිපති මැතිවරණ ගණනාවකම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරුණු විට අනෙකුත් සියලුම අපේක්ෂකයන් ලබාගෙන තිබුණේ 5%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බවයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.