වෛද්‍ය ෂාෆි සහබ්දීන් ට අයත් බව කියන නිවසක තිබී අභීරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනේ.

WhatsApp Image 2024-08-01 at 07.01.04

24-08-01
==========

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට අයත් බව කියන කලාවැව බලලුවැව ප්‍රෙද්ශයේ පිහිටි නිවසක් තුළ තිබි සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් අද ගල්කිරියාගම පොලිසිය විසින් සොයා ගෙන තිබිණ.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගෙන තිබිණ.

මෙලෙස සැකකටයුතු ලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර 4 වන පටුමග ප්‍රදේශයේ ස්ථීරපදිංචි මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි එක්දරු පියෙකි.

මිය ගිය පුද්ගලයා මින් මාස කිහිපයකට ඉහතදී බලලුවැව ප්‍රෙද්ශයේ රැකියාවක් සඳහා පැමිණ ඇති බවත් එම පුද්ගලයා මෙම නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවත් සිදුකළ මූලික පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ.

මිය ගිය පුද්ගලයා පෙර දින සවස ඒ අවට ප්‍රදේශවාසීන් සමග සුහදව කතාබහ කරමින් මනා සෞඛ්‍ය තත්වයකින් පසුවූ බවට ද ප්‍රෙද්ශවාසීහු පවසති.

එම නිවසේ කාමරයක ඇදක් මත වැටී තිබියදී පොලිසිය එම මළ සිරුර සොයාගෙන තිබිණ. මිය ගිය පුද්ගලයාගේ සිරුර වැටී තිබූ ඇඳ ආසන්නයේ වූ කුඩා මේසයක් මත තිබී ඖෂධ වර්ග කිහිපයක්ද පොලිසිය සොයා ගෙන තිබේ.

මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, ඝාතනයක් ද, නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැත.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් එම නිවස භාරව සිටින බව කියන පුද්ගලයකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුන්ම ප්‍රකාශ සටහන් කරගැනීමට ද පොලිසිය මේ වනවිට කටයුතු කර තිබේ.

මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් විමර්ශණ සිදුකරන අතර අනුරාධපුර පොලිස් සොකෝ ඒකකයේ නිලධාරීන් ද පැමිණ ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ(31) පස්වරුවේ එම ස්ථානයට පැමිණී කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් මහතා විසින් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂනය පවත්වනු ලැබීය.

එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත්, ඒ සඳහා සිරුර දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත් එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබීය.

ඒ අනුව අදාල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඊයේ(31)සවස දඹුල්ල රෝහල වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කරනු ලැබීය.

ගල්කිරියාගම පොලිසිය මගින් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරයි.