ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

election

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නේ 2024 නව ඡන්ද හිමි නාම ලේඛණය බවයි මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව 17,140,000 මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ඒ සඳහා මැයි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ නව ඡන්ද දායකයින් 76,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද ඔහු සඳහන් කළා.

ඡන්ද විමසීම සඳහා යොදාගන්නා නිලධාරීන්, මැතිවරණයට යොදා ගන්නා රජයේ වාහන සඳහා සංගණනයක් සිදුකරමින් පවතින බවත් ඡන්දය පැවැත්වීම සඳහා සුදුසු ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධ කටයුතුද මේ වන විට සිදුකරමින් ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපති, තැපැල්පතිවරයා සමඟද මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙවර මැතිවරණයේදී පළමු වරට නව අත්දැකීමක් ලෙස වියදම් නියාමනය සම්බන්ධයෙන්ද කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.