ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති කිහිපයක් අදත් වෘත්තීය ක්‍රියාමාර්ගවල

Student-Protest

ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති කිහිපයක් අද (25) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විද්‍යාත්මක නිලධාරින්ගේ සංගමය අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙස බලකරමින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කරන බවයි එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ.

අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිති අද දිනයේ ද අසනීප නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් එලෙස ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි සඳහන් වන්නේ.

අනධ්‍යයන වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූව ද රජයේ සියලුම පාසල් අද දිනයේ ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.