ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබ​ඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

jacksonanthony

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එදින සවස 3.00 ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ.

“පනා පුත්‍ර කුහුඹු පැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස 16 වතාවක් දිනාගෙන තිබෙනවා.

නෙවිල් ඩයස් සුබසිංහගේ ‘වාරුවෙන් යන මිනිසුන්’ සහ ‘මානවයෝ’ මෙන්ම ඊ.එම්.ඩී.උපාලිගේ ‘මෙතනින් මාරුවෙනු’ නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක වූ අතර ‘මරාසාද්’ , ‘මධුර ජවනිකා’ , ‘ලෝම හංස’ , ‘ධවල භීෂණ’ , ‘ඇත්’ , ‘මෝරා’ වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකටද ඔහු සිය දායකත්වය ලබාදී තිබෙනවා.

1993 දී ඔහු සිනමාවට පිවිසෙන ඔහු ගුරු ගෙදර, අයෝමා, ලොකු දුව, භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දාහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම රංග ප්‍රතිභාව ප්‍රදර්ශනය කළා.