මෙරට භාවිත වන ඖෂධවලින් 80% ක් ඉන්දියාවෙන් ආනයනය කරන බවට අනාවරණයක්

tablet-medicine

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් 80% ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පේරාදෙණිය රෝහලේ සිදුවීම සිදුවන අවස්ථාවේ එම වාට්ටුවේම සිටි රෝගීන් 12 දෙනෙකුට ආන්දෝලනයට තුඩුදුන් අදාළ ඖෂධ කාණ්ඩය ලබාදී ඇති බවත්, එම ඖෂධ කාණ්ඩය මෙම වසර තුළ මේ දක්වා කාලය තුළ 167,000 කට භාවිතා කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආශ්‍රිතව පවතින ගැටලු, නිලධාරීන් සම්බන්ධ පුරප්පාඩු, ඖෂධ සහ උපකරණ හිඟය පිළිබඳව ද සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.