ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලබා දී තිබෙන කටඋත්තර අනුව හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී අත්අඩංගුවට

sarath-fonseka

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ කීත් නොයාර්ට පහර දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස් පොලීසියට ලබා දී තිබෙන කටඋත්තරය අනුව හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේන මහතා සහ ජාතික බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යන අය අත්අඩංගුවට ගැනීමට සිදු වනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මෙම සිදුවීම්වලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් විවිධ සාක්ෂිකරුවන්ගේ වාචික සාක්ෂි මත පමණක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා රැසක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම මෙම සිදුවීම්වලට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් රජයේ සාක්ෂිකරුවන් වී සිදු කරන පාවා දීම හේතුවෙන් මේ වන විට සිදුවීම්වලට ඍජුවම සම්බන්ධ නොවුණු බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුව ඇති බවත් ඔවුන් හෙළිදරව් වීම මඟින් එම පුද්ගලයන්ගේ ජීවිතවලට මෙන්ම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් බවටත් මෙම බුද්ධි අංශ නිලධාරීන් චෝදනා කරයි