නීතියේ ආධිපත්‍යය හා ක්‍රම වෙනසක් සිදු කිරීමට ලබාගත් ජනවරමට ආණ්ඩුව පිටුපා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ කතාව ජනාධිපතිවරයෙකුට උචිත නොවන බවත්, පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම චන්ඩිකමකින් සිදුකළ නොහැකි බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
චන්ඩි කථා පැවසීම හරි වැඩක් නොවන බවත්, වත්මන් ජනපතිට වඩා ලොකු චන්ඩි යැයි සිතූ ගෝඨාභයට ද අන්තිමට වැඩ වැරදුණු බවයි ඔහු සඳහන් කර සිටියේ.
ආණ්ඩුවට ලබාදුන් ජනවරම ගැන ආණ්ඩුව තැකීමක් නොකරන බවද, මැතිවරණයට පෙර දේශපාලන පත්වීම් සිදු නොකරන බවට ප්‍රකාශ කළ ද, පසුගියදා පත්කළ තානාපතිවරුන් අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ ජාතික ජන බලවේගයේ අයෙකුටද තානාපති ධුරයක් ලබාදී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ආණ්ඩුව යන්නේ පරණ ආණ්ඩු ගිය ගමනම බවත්, පාට පමණක් වෙනස් වී ඇති බවත් ඔහු පැවසුවා.
කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂ කණ්ඩායම් විසින් පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.