මහ කන්නයේ අස්වැන්න අඩුවීම නිසා, වසර මැද සහල් හිඟයක් ඇතිවිය හැකියි – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර

ricenew

මෙම වසර මැද වන විට සහල් හිඟයක් ඇති විය හැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා.

මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් එවැනි තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ අනුව, මහ කන්නය යනු මෙරට සහල් අවශ්‍යතාවයෙන් 65%ක් සම්පූර්ණ කරගන්නා කන්නය බවත්, එම කන්නයේදී අපේක්ෂිත අස්වැන්න අඩු වනු ඇති බවට රජයට ප්‍රකාශ කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට ආරම්භවීමට ඇත්තේ යල කන්නය වන අතර, එහි අස්වැන්න ලැබීමට මාස 04 ක කාලයක් ගත වන බැවින්, වසර මැද මෙම සහල් හිඟය ඇතිවිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

පවත්නා තත්ත්වය යටතේ ඉදිරියේදී සහල් මිල, පවතින පාලන මිල ද ඉක්මවා යනු ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා පවතින ආනයන බදු අඩු කර සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.