රට යන මාර්ගය නිවැරදියි – රවී කරුණානායක

ravi-karunanayake1

යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික මොඩලය වත්මන් රජය ඉදිරියට ගෙන යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

ඒ අනුව එම වැඩපිළිවෙළ සඳහා නිවැරදි දැක්මක් සහිතව ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් සාකච්ඡාවට ලක් කළ යුතු බවත්, නව අදහස් නොමැති වුවද පැවති මාර්ගයේම ඉදිරියට ගොස් ඉලක්ක සපුරාගත හැකි නම් රට යන මාර්ගය නිවැරදි බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙරටට පැමිණෙන ආයෝජකයින් දිරිගැන්වීම සඳහා සිදුකළ යුතු කරණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු බවත්, 36% ක පමණ ආදායම් බදු ගෙවන රටකට ආයෝජකයින් පැමිණෙනවාද යන්න ගැටලුසහත බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණාවරණය අගෝස්තු මාසයේ සිට ලක්ෂ දෙකහාමාර දක්වා අඩු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත්, තමා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී එම රක්ෂණාවරණය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.