රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ වන්දි මුදල නොගෙවීම හේතුවෙන්, ලබන අප්‍රේල් 29 වැනිදා ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට, දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෛත්‍රිපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කර තිබුණා.
පසුව අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා විසින් අදළ වන්දි මුදල ගෙවා තිබෙන බව සඳහන් කළ අතර, ඒ බව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසයි එහිදී විනිසුරු මඬුල්ල දැනුම් දී ඇත්තේ.