2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 2,105ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 2,223ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 213ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් වශයෙන් රු. බිලියන 70ක් සඳහන්ව ඇත.
2025 වසරේ මුල් මාස 11 දී තුළ බදු ආදායමට වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායෙමන් සියයට 48.2කි.
මෙම කාලය දෙවැනි වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායමෙන් සියයට 45.7ක් නියෝජනය කරයි.
මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2025 වසරේ මුල් මාස 11 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම, රු. බිලියන 410.5ක් දක්වා රු. බිලියන 355කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ මුල් මාස 11 හි වාහන ආනයන බදු ආදායම වාර්තා වූයේ රු. බිලියන 54.6ක් ලෙසිනි.
මේ අතර 2025 වසරේ පළමු මාස 11 කාලය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,945.8 දක්වා සියයට 35.5 කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ දී එම අගය රු. බිලියන 3,650.9 ක් ලෙසින් වාර්තා වේ.
මෙම කාලය තුළ ආදායම් බදු ආදායම ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින්, 2024 වසරේ පළමු මාස 11 තුළ රුපියල් බිලියන 969.2 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,096.9 දක්වා සියයට 13.2 කින් ඉහළ ගොස් ඇත.
එමෙන්ම, VAT බදු මඟින් ලැබුණු ආදායම 2024 වසරේ එම කාලය තුළ වූ රුපියල් බිලියන 1,174.0 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,579.0 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 34.5ක වර්ධනයක් ලෙස සටහන් වේ.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, බදු පද්ධතියේ වැඩි කාර්යක්ෂමතාව, ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩි වීම සහ ආදායම් එකතු කිරීමේ ක්‍රමවේද ශක්තිමත් වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු ලෙස පවතින බවය.

