කොවිඩ් සමයේ NMRA අනුමැතිය නොමැතිව ගෙනා මිලියන 2200 ක ඇන්ටිජන් තොගයක් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

nalinda-jayathissa-press-3989

කොවිඩ්-19 වෛරස ව්‍යාප්ති සමයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොමැති සමාගමකින්, රුපියල් මිලියන 2200 කට අධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදී නොමැති ‘දිවැස ෆාමා කලම්බු’ නම් සමාගමකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 2 කට සංඛ්‍යාවක් මිලදීගෙන ඇති බවයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එහි දී අදාළ සමාගම එක් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 1,146 සිට 937 දක්වා මුදලකට මිල දී ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2200 ක් බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2021 ජුනි 01 වැනිදා අදාළ සමාගම ලියාපදිංචියට අවසර ඉල්ලා තිබුණත්, ඒ සඳහා වන සුදුසුකම් සපුරා නැති හෙයින් එය ලියාපදිංචි කර නොමැති සමාගමක් බවයි.

ඒ අනුව මෙම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.