ගම්මන්පිලට ඕනේ ශානි, රවී මෙතැනින් ඉවත් කරන්න, ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ – කැබිනට් ප්‍රකාශක

vijitha-herath-cabinet

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කරන්නේ ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව රජය එම වුවමනාවට යටත්වීමට සූදානම් නොමැති බවයි අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවද, පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාතී බව හොඳින් දන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කර ඇති බවත්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් විවිධ අය පිළිබඳවද එහි නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.