අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට මෛත්‍රිට එරෙහිව ගොනුකල පෙත්සමක් සලකා බැලීමට දින නියම කෙ​රේ

maithripala-sirisena-33

අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීම ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ, තම සේවා දායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුවයි අදාළ පෙත්සම ලබන 27 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.