දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික ලබාගන්නා ලෙස දැනුම්දීමක්

election

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්නැයි මැතිවරණ කොමිසම දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

අදාළ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී මගින් සහතික කර රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කරගත යුතු වනවා.

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත සහතික කළ යෝග්‍යතා පත්‍ර සහිතව යා යුතු අතර එහිදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහයකයෙකු සමග යායුතු බව අදාළ නිවේදනයේ සඳහන් වෙන්නේ.