IMF සමග සාකච්ඡාවට අපි සූදානම් – රංජිත් මද්දුමබණ්ඩාර

ranjith-maddumabandara

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සජීවී වීඩියෝ විවාදයකට එන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හඳුනා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු යැයි මුලින්ම ඉල්ලීම් කලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායකවරයා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණගැසී සාමාන්‍ය ජනතාවගේ ජිවිතයට බලපාන කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කර ඇති බවද පෙන්වාදී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ කොන්දේසි ලෙස පවසමින් රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස් නොවන බවයි රංජිත් මද්දුමබණ්ඩාර මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.