පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්

pohora

ලබන වසරේ සිට වී වගාවට පොහොර මිල දී ගැනීම සඳහා දැනට රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වගා කන්න පහක් තුළ, වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීම සදහා රජය විසින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ අනුව වී වගාවට අවශ්‍ය පොහොර කළට වේලාවට යෙදීම කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දැනට පොහොර මිල දී ගැනීම සඳහා ලබාදෙන රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජය වටහා ගෙන ඇතත්, පැවැති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරි මහ කන්න දෙකේ දී MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට ද නියමිත බවත්, ඒ අනුව ගොවීන්ට අවශ්‍ය සමස්ත MOP පොහොර ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බවත්, පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා රුපියල් බිලියන 30ක පමණක් මුදලක් වැය වෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ