ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා 18% ක VAT බද්ද මුළුමනින්ම ඉවත් කරනවා – අනු​ර

anura-kumara-32

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා 18% ක VAT බද්ද මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

පුරවැසියෙකුට කුසිගිනි වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු ලෙඩ වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු තම දරුවන්ට ඉගැන්වීමේදී බදු ගෙවීමට කීමද සාධාරණ නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් පුරවැසියන් කුසගින්න නිවා ගන්නා ආහාර සඳහා ද, ලෙඩට ගන්නා ඖෂධ සඳහාද, දරුවන් ඉගෙනීමට ගන්නා අධ්‍යාපනික උපකරණ සඳහාද දැනට ගෙවීමට සිදුව ඇති 18%ක VAT බද්ද 0% දක්වා අඩු කරන බව ඔහු සඳහන් කළා.

මෙසේ කී විට රජයට ආදායම් ලැබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින බවද, මෙතෙක් බදු පොලු තබා ඇති ප්‍රමාණය රුපියල් කෝටි 110,000ක් වන අතර ඉන් නඩු කටයුතු නොමැති කෝටි 16,900 ක් ආරම්භයේදීම අය කරගත හැකි බව සොයා බලා ඇති බවයි ඔහු සඳහන් කළේ.

දැනට පවතින බදු හරහා වසර 4ක් තුළ ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනයෙන් අයකරගත හැකි VAT බද්ද ඊට වඩා අඩු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.