තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ..

School-van-v1

24-08-15
කැකිරාව කුෂාන් ජයවර්ධන

තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ..
============

හදිසියේ ඇති වූ ඇඟ කැමීමේ තත්වයක් හේතුවෙන් තිරප්පනේ ප්‍රෙද්ශයේ පාසැලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. .
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ තිරප්පනය ඇතුන්ගම ගැමුණු විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුව ලබන සිසුන් පිරිසකි. විදුරුවලින් ආවරණය කළ පංති කාමරය එම සිසුන් ආහාර ගැනීම සිදු කර ඇති අතර ඉන් අනතුරුව සිසුන්ගේ ඇඟ කැසීමේ තත්වයක මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රෝහල් ගතකර ඇති සිසුන් 21 දෙනා අතරින් 06 දෙනෙකුගේ ශරීරයේ පලු දැමීහා බිබිලි මතුවීම සිදුව ඇති බව පැවැසේ.
සිසුන් අතර මෙම ලක්ෂණ පහළ වීමත් සමග විද්‍යාල‍යේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මඟින් එම සිසුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණ.
සෞඛ්‍ය අංශ අනුමාන කරනුයේ ආවරණය කර තිබූ පංති කාමරයේ තිබූ දූවිල්ල හෝ වෙනත් තත්වයක් මත එම සිසුන්ට මෙම ආසාත්මිකතාවය ඇති වන්නට ඇති බවයි.
සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කලේ වීදුරුවලින් ආවරණය කරන ලද පංති කාමරයක ආහාර ගත් සිසුන් අතර මෙම තත්වය මතුව ඇති බවයි. එසේම ආහාර ගැනීමෙන් පසුව සිසුන් අතර මෙම තත්වය මතුව තිබීම නිසා මෙම තත්වය කිසියම් ආඝ්‍රාහණයකින් සිදුවූයේද නැතිනම් ආහාර හේතුවෙන් සිදු වූයෙ ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැති බවයි. අද දිනයේ සිසුන් 80කට ආසන්න පිරිසකට මෙලෙස පාසැලෙන් ආහාර ලබා දී තිබූ බවත් ඒ අතරින් සිසුන් 21 දෙනෙකු මෙම ආසාත්මිකතාවයට ලක්ව ඇති බවත් හදුනාගෙන ඇති බැවින් වැඩිදුර විමර්ශණය සඳහා පාසැලෙන් සිසුන්ට ලබා දී තිබූ ආහාරවල සාම්පල ද ලබා ගැනීමට කටයුතු කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
ආසාත්මිකතාවයට ලක්වූ එම සිසුන් ප්‍රතිකාර සඳහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ ආරම්භ කර තිබේ.