2030 වනවිට මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලිය​න 05 ක් කිරී​ම ඉලක්කයයි – අනු​ර

anura-kumara-32

2030 වසර වන විට මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5 ක් බවට පත් කිරීම සිය ඉලක්කය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ක්ෂේත්‍ර ගණනාවක් සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂා කරන බවත්, ආර්ථිකය වැඩිදියුණු කිරීමට, රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීම සඳහා සහ රාජ්‍යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය එළි දැක්වීම ඊයේ (13) සිදු වූ අතර විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් වෙහෙසුන බවද ඔහු සඳහන් කළා.

වර්තමානයේ Smart Agriculture, Smart Classroom සම්බන්ධයෙන් සාකච්ඡා කළද, රටේ තිබෙන්නේ Dirty Politics බවත්, ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතු බවත් අනුර කුමාර දිසානායක සඳහන් කළා.

මේ වනවිට එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත නොවන බවත්, සමහරුන් ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කර ගැනීමට පනින අතර, සමහරුන්ගේ මාරුවීම් පිටුපස මූල්‍යමය ගනුදෙනු, රජයේ ඉඩම් ලබාදීම්, බාර් ලයිසන්, පෙට්‍රල් ෂෙඞ් ලබාදීම් තිබෙන බවද ඔහු සඳහන් කළා.

රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරු කිරීම් කළද, ආණ්ඩුව මාරු වූ පසු ඔවුන් මාරුවීමට කටයුතු කරන බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.