Facebook සහය කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණයක්

facebook

Facebook සහය කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසනවා.

පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල සඳහන් කළේ.

Facebook පරිශීලකයින්ගේ Facebook ගිණුම හෝ Page එක තාවකාලිකව අත්හිටුවා ඇති බවට මොවුන් Facebook සහය කණ්ඩායමකින් එවන පණිවිඩයක් ලෙසින් ව්‍යාජ පණිවිඩ එවන බවද, එම ගිණුම් හෝ Pages නැවත ලබා ගැනීමට යම් මුදලක් සහ පුද්ගලික තොරතුරු ලබා දිය යුතු බව දන්වා සිටින අතර, ඊට රැවටී එම තොරතුරු ලබාදෙන්නන් මෙම ජාවාරමට හසුවන බවද ඔහු සඳහන් කළා.

එබැවින් යම් හෙයකින් ඔබේ Facebook ගිණුම හෝ Page එක තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවද මෙැවනි පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙසයි ඔහු සඳහන් කළේ.