විභාග වෙමින් පැවැති නඩුවකට අදාළ නඩු භාණ්ඩ වලට හානි කළ නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නඩුවක්

WhatsApp Image 2024-07-25 at 22.20.02

24-07-25
කැකිරාව කුෂාන් ජයවර්ධන

විභාග වෙමින් පැවැති නඩුවකට අදාළ නඩු භාණ්ඩ වලට හානි කළ නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නඩුවක්
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවේ ගොනුකර විභාග වෙමින් පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩවලට හානි සිදු කළ බව කියන නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවැරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.
නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව වූ එම නඩුව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා විසින් අධීකරණය හමුවේ ගොනු කර තිබේ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප කළ විමසීකදී එහි ප්‍රකාශකයකු කියා සිටියේ මෙලෙස නඩු පවරා ඇත්තේ එම කාර්යාලය මඟින් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයේ ගොනු කර විභාග වෙමින් පැවැති නඩුවක විත්ති පාර්ශවයේ ව්‍යාපාරිකයකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥයින් දෙදෙනෙකුට එරෙහිව බවයි.
ඉකුත් දා කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිදු කළ වැටලීමකදී කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී වස යෙදූ බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා පාන් පිටි තොගයක් ඇතුලු ආහාර ද්‍රව්‍ය තොගයක් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මඟින් ඒ සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදුකර තිබිණ. ඒ අනුව, අදාළ සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයේ දී අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවැරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පියවර ගෙන තිබිණ.
අදාළ නඩුව අධීකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර තුරදී එකී නඩුවේ විත්තිකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දෙදෙනෙකු එම නඩුවට අදාළ නඩු භාණ්ඩවලට හානී කර තිබූ බව ද, එලෙස නඩු භාණ්ඩවලට හානි කිරීමේ චෝදනා යටතේ අදාළ නීතීඥවරුන් දෙදෙනාට එරෙහිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
නඩු භාන්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මෙලෙස අධීකරණය හමුවේ නඩු පවරා ඇති නීතිඥයින් කැකිරාව හා මහනුවර ප්‍රෙද්ශයන්හි පදිංචි කරුවෝ වෙති.