ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට යටත් නොවන බවට රජය කරන ප්‍රකාශය අසත්‍යයක් – සාලිය පීරිස්

saliya-piris-waligama

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට යටත් නොවන බවට රජය කරන ප්‍රකාශය අසත්‍ය බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාදායකයේ දිගුවක් බවට කරන ප්‍රකාශයද සත්‍යයක් නොවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සිටි පමණින් එය පාර්ලිමේන්තුවේ දිගුවක් වන්නේ නැති බවත්, එය විධායක කාර්යයක් ඉටු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය නිර්දේශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකරන බවත්, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා පුද්ගලයෙකු නම් කරන්නේ ජනාධිපතිවරයා වන අතර, ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරන බව ඔහු පෙන්වා දෙනවා.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වන ගැටලුවේදී, එම පත්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොතිබීම වටා කරුණු ගොනුව තිබෙන බවත්, ජනාධිපතිවරයාගේ පත්වීම් බලතල සහ යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලය හැර අනෙකුත් සියලුම බලතල පාර්ලිමේන්තුව විසින්ම සම්මත කරන ලද 19 වැනි සංශෝධනයෙන් පසු මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් වන බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද ඇත්තේ නීතියෙන් සපයා ඇති ප්‍රමාණයට පමණක් බවත්, නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මුක්තිය ලබා දීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් කිරීම හෝ සිදු නොවන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙය විධායකය විසින් අධිකරණ තීන්දුවකට අවනත නොවීම සඳහා දරණ පිළිකුල් සහගත උත්සාහයක් සහ අධිකරණය මඟින් තහනම් නියෝග පනවා ඇති පුද්ගලයෙකු තනතුරේ එල්ලී සිටීමට දරණ උත්සාහයක් බවයි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.