කෘතිම බුද්ධිය නිසා මෙරටට විශාල බලපෑමක් එල්ල වෙලා – මදුර විතානගේ

madura-vithanage-gg

කෘතිම බුද්ධිය (AI) හරහා මෙරටට විශාල බලපෑමක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පවසනවා.

ඒ අනුව කෘතිම බුද්ධිය තුළින් ජන ජීවිතයට, ජාතික ආරක්ෂාවට, ආගමට, සංස්කෘතියට හා ආර්ථිකයට වන බලපෑමේ හොඳ නරක සම්බන්ධයෙන් අධ්‍යනය කළ යුතු බවයි සභාව කල්තැබීමේ විවාද යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේ.

මේ වන විට රට තුළ ගෝලීය තාක්ෂණයේ අවිචාරවත් බලපෑම හේතුවෙන් රටේ සමාජය, ආගම එහි ගොදුරක් බවට පවත්ව ඇති බවත් වසර 2500ක මෙරට සංස්කෘතික අනන්‍යතාවට කෘතිම බුද්ධිය හරහා බලපෑම් එල්ලවී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මය, ගාථා ‍කෘතිම බුද්ධිය හරහා විනාශ කිරීම ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

කෘතිම බුද්ධිය හරහා අගතියට පත්වන පාර්ශවවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෙනත් රටවල නීති සම්පාදනය කර ඇති බවත්, මෙරට තුළද නිති සම්පාදනය කර කෘතිම බුද්ධිය හරහා සිදුවන අකටයුතු කම් පාලනය කළ යුතු ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.