අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ දී පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන ඇරඹෙයි

vidura-pura

134 වැනි පුරාවිද්‍යා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

එහිදී අනුරාධපුර මහා විහාර පරිශ්‍රය රුවන්වැලි සෑයට නැගෙනහිරින් පිහිටි කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාර සංරක්ෂණ කටයුතු, ථුපාරාම නැගෙනහිර ප්‍රධාන පිවිසුම් දොරටුවට ඉදිරිපිට පිහිටි පුරාණ ආරාමික ස්මාරක කලාපයේ ස්මාරක අංක 46 කැණීම් කටයුතු, ශ්‍රි මහා බෝධියේ දකුණු පිටත ප්‍රාකාරයට පිටතින් බටහිර නැගෙනහිර දිශානුගතව විහිදියන ප්‍රාකාරයේ සංරක්ෂණ කටයුතු, රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති පංචාවාස ගොඩනැඟිල්ලෙහි ස්මාරක සංරක්ෂණ කටයුතු, ජේතවන ස්ථූපයට ජල ප්‍රතිරෝධක සවි කිරීම, දෙවන සමාධි බුදු පිළිමයේ ගල් කණු සංරක්ෂණය කටයුතු ආරම්භ කිරීම මෙහිදී සිදු කෙරුණු බවයි සඳහන් වෙන්නේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මැන්දිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට තිබෙනවා.