ඉංදීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය නාමල් උයනේ සංචාරයක

athira s

v24-06-17
කැකිරාව කුෂාන් ජයවර්ධන

ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය අද (17) කටයුතු කරනු ලැබුවාය.

ජාතික නාමල් උයන වෙත පැමිණි ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය, ජාතික නාමල් උද්‍යාන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් වෙත පිරිකර පූජා කරමින් උන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා නිධිය සහිත ජාතික නාමල් උයනේ පාරිසරික වටපිටාව නිරීක්ෂණයකට එක් විය.

ඉන් අනතුරුව ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය, වනවාසී රාහුල හිමියන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එහිදී ඉන්දිය අගමැති ලෙස අඛණ්ඩව තෙවරක් තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට සුභ පැතුම් එක් කරන බව වනවාසී රාහුල හිමියන් එම පිළිඳරේදී කියා සිටියේය, එසේම ඉංදිය නව අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා නැවත ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවකදී නාමල් උයන නැරඹීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටින බව ද උන්වහන්සේ පැවැසූහ.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව සමාජීය, ආර්ථක හා ආගමික වශයෙන්ද ලංකාවට බොහෝ සෙයින් වැදගත් රටක් බව ද වනවාසී රාහුල හිමියෝ මෙහිදී ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරිය හමුවේ පැවැසූහ.

ලංකාවට ආර්ථික අර්බුද සඳහා මුහුණ දුන් සෑම අවස්ථාවකදීම මෙරට ජන ජීවිතය යථාවත් කර ගැනීමට ඉන්දියාව ලබා දුන් සහය ද මෙහිදී උන්වහන්සේගේ ඇගයීමට ලක්වූ අතර, ලංකාව සමඟ පවතින සම්බන්ධතා හා හිතවත්කම් ඉදිරියටත් වැඩි දියුණු කර ගනිමින් ලංකාවට සහය වන ලෙසද රාහුල හිමියෝ මෙහිදී ඉංදීය සහකාර මහ කොමසාරිස්වරියගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

ජාතික නාමල් උයන සංචාරයට එක්වූ ඉන්දීය සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිරිණැමීමට ද පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ මෙහිදී කටයුතු කළහ.