OnmaxDT වංචාවට හසු වූ 61,000කට වසර 2ක් තුළ මුදල් ගෙවීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂවරුන් දැනුම්දෙයි

onmax-court

OnmaxDT පිරමීඩ යෝජනාක්‍රමයට හසු වී මේ වනවිට මුදල් අහිමිව සිටින තැන්පත්කරුවන් 61,000කට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම්දී තිබෙනවා.

තම සමාගමට අදාළ බැංකු ගිණුම් මේ වනවිට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බවත්, එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ.

විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බවත් මහෙස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම්දී තිබෙනවා.