විජේදාසට එරෙහිව දුමින්දගේ නඩුව සලකා බැලීමට අවසර

court-2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම බලශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක විසින් ගොනුකර ඇති නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමටද අවසර ලබාදී තිබෙනවා.

මෙම කරුණට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් දැනටමත් නිකුත් කර ඇති නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (14)  විරෝධතා මතුකර තිබුණා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙන්වාදී තිබුණේ කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය මෙම අධිකරණයට බල නොපාන බවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය වලට අගති රහිතව මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කරන බව දැනුම්දී තිබෙනවා.