ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවේවි – මුදල් රාජ්‍ය ඇමති

shehan-semasinghe-new

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බවට රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමෙරිකාවේ, වොෂින්ටන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවාරයකට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%ක් දක්වා රජයේ ආදායම ඉහළ ගොස් තිබෙන බවත්, 2024 වන විට එම අගය 12%ක් දක්වා ඉහළ අගයකින් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

බදු සඳහා ලියාපදිංචි වීමද ඉහළ ගොස් ඇති බවත්, එය හොඳ තත්ත්වයක් වුවත් තවමත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, රජයට අවශ්‍ය වන්නේ බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවීමට යොමු කිරීම බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.