දුම්රියේ ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය (11 වැනිදා) කියයි.

WhatsApp Image 2024-04-11 at 15.16.56

දුම්රියේ ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය (11 වැනිදා) කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ, පදිංචි එම්. ආර්. රන්තරු නමැති මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබයි.

මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මෙලෙස මෙම දරුවා මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.
මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබී ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රියක් ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැනෙකින් පැමිණ ඇති බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී ඇති අතර, එහිදී දරුවා ගමන් ගත් පාපැදියේ ගැටී ඇත.
අනතුරින් දරුවා මීටර් 13ක් පමණ ඈතට විසිවී ගොස් ඇත. දුම්රිය ඒ ආසන්නයේ නතර කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
කඩිනමින් දරුවා රෝහල්ගත කළද ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පොලීසිය පවසයි.
දරුවාගේ පශ්වාත් මරණ පරීක්ෂණය මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් මූලිකත්වයෙන් පානදුර මූලික රෝහලේදී සිදුකෙරිණි.
මොරටුව මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දර්ශාන් කානිල්
මොරටුව