ඉපලෝගම හිටපු මංත්‍රීවරයෙක් සිදුකළ පහරදීමකින් තිදරු පියෙක් රෝහලේ

WhatsApp Image 2024-03-18 at 15.40.18

24-03-18
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඉපලෝගම හිටපු මංත්‍රීවරයෙක් සිදුකළ පහරදීමකින් තිදරු පියෙක් රෝහලේ
============

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ඊයේ(17) රාත්‍රියේ සිදු කළ පහර දීමක් හේතුවෙන් තුවාල ලැබූ ඉපලෝගම ඉහළකාගම ප්‍රෙද්ශයේ පුද්ගලයකු ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ පාර්ශවයෙන් අද (18) ඉපලෝගම පොලිස් ස්ථානය වෙත මේ සම්බන්ධයෙන් පැමිනිලි කර ඇති අතර මේ වනවිට එම පැමිණීල්ලට අනුව ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට සිද්දිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබේ. අදාළ පහරදීම සිදුකර ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන එක්සත් පෙරමුණු මංත්‍රීවරයකු විසින් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඉපලෝගම ඉහළකාගම ප්‍රෙද්ශයේ දී ඊයේ (17) රාත්‍රියේ පැවැති ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභා රැස්වීමට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයකුට සැකකාර මංත්‍රීවරයා මෙලෙස පහර දී ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම පහරදීම සිදු කිරීමට පෙර සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයා ජාතික ජනබල වේගයේ ඉහළකාගම කොට්ඨාස සභා රැස්වීම පැවැති ස්ථානය වෙත ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජනය කර ඇති බව ද එම රැස්වීමේ සංවිධායකයින් විසින් පොලිසියට පැමිණීලි කර තිබේ. අදාළ රැස්වීම නිමවීමෙන් පසු සිය නිවස බලා යමින් සිටි අයෙකුට සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයා මග රැක සිට මෙලෙස පහරදීමට කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
සැකකාර ප්‍රාදේශීය සභා හිටපු මංත්‍රීවරයා මුගුරකින් අදාළ පුද්ගලයාට පහර දීම සිදුකර ඇති අතර, එම පහරකෑමෙන් තුවාල ලත් පුද්ගලයා ප්‍රතිකාර සදහා කඩිනම් කැකිරාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබූ බව පොලිසිය පවසයි. මෙලෙස සැකකාර ප්‍රාදේශීය සභා මංත්‍රීවරයාගේ පහර කෑමට ලක්ව ඇත්තේ ඉපලෝගම ඉහළකාගම ප්‍රදේශයේ පදිංචි රාජකරුණා මුදියන්සේලාගේ විජයානන්ද රාජකරුණා නමැති 49 හැවිරිදි තිදරු පියෙකි. ඔහු දෛනික කුලි කටයුතුවල නිරත වෙමින් සිය ජීවිකාව ගෙන යන්නෙකි.
හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයකු විසින් සිදුකර ඇති මෙම පුද්ගල පහරදීම සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.