අරගලයේ නිරත වූ 13 දෙනෙකු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි

court-2

2022 වසරේ මහජන අරගලය අතරතුර පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිට අත්අඩංගුවට පත්ව, පසුව ඇපමත නිදහස්ව සිටි පිරිසක් නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම සමයේ දී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනෙකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලීසියේ රඳවා තබාගනිමින් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර සංවිධානාත්මකව අයුතු ජනරාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම, පොලීසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත එල්ල වී තිබුනා.

වසර දෙකක් පුරාවට මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුව විභාග වූ අතර, එහි අවසන්  තීන්දුව ලබාදෙමින් මෙම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.