පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගොනුකල පෙත්සම් යළි විභාග කෙරේ

court-2

නියමිත දිනයට පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකල පෙත්සම් ඊයේ (13) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළිත් විභාගයට ගැනුණා.

මේ වෙනුවෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනුකර තිබුණා.

වගඋත්තරකරුවකු ලෙස මුදල් අමාත්‍යවරයා නම්කර තිබුණත් ඔහු ඊට  අදාලව විරෝධතා ගොනු නොකිරීම ගැටලු සහගත බවත්, එම විරෝධතා ගොනු කිරීම සඳහා ඔහුට වගකීමක් තිබෙන බවටත් පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර කරුණු ඉදිරිපත් කළා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගොනුකර තිබෙන විරෝධතාවල මැතිවරණය පැවැත්වීම සඳහා  මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති බව මුදල් අමාත්‍යවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කර තිබු බවත්, මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කර තිබෙන බව පවසා ඇති බවයි නීතිඥවරයා පවසා සිටියේ.