ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිපා (Nipah) වෛරසය මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති අතර මෙය මුල්වරට හඳුනාගෙන ඇත්තේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිර ගිය අවස්ථාවේදී බවයි සඳහන් වන්නේ.
මෙවර මෙම වෛරසය පැතිර යන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවට වන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීම බවද සඳහන්.
දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය බවයි සඳහන් වන්නේ.
වෛරසය සිරුරට ඇතුලු වී දින 4 – 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇතිවන බවත් හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත් සඳහන් වනවා.
මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වා ගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙන අතර මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නොමැති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.