OnmaxDT අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ කෝටි 62ක දේපළ තහනම් කෙරේ

onmax-court

නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය OnmaxDT සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන්ට හිමි රුපියල් කෝටි 62 කට අධික වටිනාකමින් යුතු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කර තිබෙනවා.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් OnmaxDT සමාගම සම්බන්ධයෙන් මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දැක්වීමක් සිදුකර තිබුණා.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන්ගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක් ද, අතුල ඉන්දිකගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක් ද, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක් ද, ගයාෂාන්ගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

OnmaxDT පිරමීඩ යෝජනා ක්‍රමයට මහජනතාවගෙන් එක්රැස් කරගත් මුදල් ගලා යන අවසාන මුදල් ගිණුම ඕස්ට්‍රේලියානුවකුගේ නොව ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වනවා.