Channel 4: තවුහීද් ජමාත් සාමාජිකයෙක් සහ සුරේෂ් සලේ අතර හමුව සංවිධානය කළේ මම – අසාද් මවුලානා

channel4-easterattack

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සහිත වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ Channel 4 නාළිකාව ඊයේ (05) රාත්‍රීයේ විකාශය කර තිබෙනවා.

එම වැඩසටහනට එක් වෙමින් පළමු වරට හෙළිදරව්වක් සිදුකරන අසාද් මවුලානා නැමැත්තෙකු පවසන්නේ, පාස්කු ප්‍රහාරයට පෙර තවුහීද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයෙක් සහ හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කළේ තමන් විසින් බවයි.

පිල්ලෙයාන් හෙවත් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ සහයකයෙකු සහ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කර ඇති අසාද් මවුලානා නැමැත්තා, පිල්ලෙයාන් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව එම හමුව සංවිධානය කළ බවද, එම හමුවට පෙර සයීනි මවුලවි නැමැත්තා හමුවන ලෙස තමාට උපදෙස් ලැබුණු බවද ඔහු හෙළදරව් කරනවා.

සයීනි මවුලවි නැමැත්තා පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව පසුව දැනගත් බවද Channel 4 වැඩසටහනේදී ඔහු පවසනවා.

අදාළ හමුවෙන් අනතුරුව තමා වෙත පැමිණි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ විසින්, රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරිමට අවශ්‍ය වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත්, තමන් සමඟ ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කරනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පිල්ලෙයාන් ප්‍රතිචාර නොදැක්වූ බවද, හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මෙයට ප්‍රතිචාර දක්වමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බවද Channel 4 වාර්තා වැඩසටහන සඳහන් කරනවා.