උසස් පෙළ කල්දමන ලෙස විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

sajith-new

එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දමා දරුවන්ට සිදුවන අසාධාරණය වළක්වාලීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා.

ඒ අනුව මෙම වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වයන් නොසලකා හරිමින් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් කෙසේ හෝ තම පරිපාලන කාලසටහන් සාර්ථක කරගැනීමේ මිලේච්ඡ අරමුණක අධ්‍යාපන බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර නොමැති පසුබිමක මෙම වසරේ උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කිරීම හේතුවෙන් දරුවන්ට දැඩි ආසාධාරණයක් සිදුවන බවත් නොවැම්බර් මාසයට විභාග දින නියම කිරීම හේතුවෙන් දෙවන වර විභාගයට සුදානම් වීමට සිටින දරුවන්ට ඒ සඳහා ඉතිරිව ඇත්තේ මාස දෙකකටත් වඩා අඩු කාලසීමාවක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

එසේම විෂයන් වෙනස් කර යළිත් විභාගයට පෙනී සිටින දරුවන්ට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් කාලසීමාවක් නොවන බවත් මෙම තත්ත්වය තුළ ඇතැම් සිසුන්ගේ සරසවි සිහිනය ද බොඳවනු ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරන්නේ.