ඉන්ධන QR ක්‍රමවේදය ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා – කංචන

fuel-qr-code

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කර, දත්ත එක්කිරීම වෙනුවෙන් සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිතා කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව QR ක්‍රමවේදය පසුගිය වසරේ හදුන්වාදීමේ අරමුණ වූයේ, ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීම බවයි අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දෙන්නේ.

පෙරේදා දින වන විට QR ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය සහ එම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් ඉක්මවා සිදුකර තිබෙන බවද සඳහන්.

පසුගිය කාලය තුළ රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය, ඉන්ධන වෙළෙඳපොළට නව බෙදුම්කරුවන් එකතු වීම යන කරුණු මඟින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් කළමනාකරණය වී ඇති බැවින් QR කේතය තවදුරටත් අවශ්‍ය නොවන බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.