පළාත් පාලන මැතිවරණයට එරෙහි පෙත්සම සලකාබැලීම කල් යයි

LC-elections-300x158

පළාත් පාලන මැතිවරණයට එරෙහිව විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 04 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එම පෙත්සම අද (11) ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ අවස්ථාව වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තම සේවාදායකයින් විසින් දිනයක් නියම කර නොමැති බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහා භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් නියම කරන බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම්දී තිබුණේ.