කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට අධිකරණ​ය නියෝග කරයි

ajith-niwad

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) තීන්දු කර තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.