මෛත්‍රීට අධිකරණයෙන් අවවාද

02_sri_lanka_1

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක් විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, අද (27) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවවාද කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහි ව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගෙන තිබුණා.

එහි දී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොර ව පිටත රැඳී සිටි අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළ කළ අතර සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බව හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට පවසා සිටියා.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙහිදී සඳහන් කළා.

ඒ අනුව හිටපු ජනපතිවරයාට විත්ති කූඩුවට නැගීමට සිදුවූ අතර නඩුව යළිත් මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළා.