ලංකාවට ඉන්දියාව මූල්‍යාධාර දීම නවතියි

PTI05_18_2022_000263B

මෙම වසරේදී ලබා දී ඇති අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍යාධාරවලට
අමතරව ශ්‍රී ලංකාවට නව මූල්‍යාධාර ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බව
මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික ණය
ගිවිසුමකට එළඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමත්
සමග ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බවය.

දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට එරෙහිව
සටන් කරන ශ්‍රී ලංකාවට මෙම වසරේ වැඩි වශයෙන් ආධාර ලබා දුන් රට බවට
ඉන්දියාව පත් වුව ද දැන් තත්වය මැයි සහ ජූලි මාසවල පැවති තත්වයට වඩා
යහපත් බව රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.

“අපි දැනටමත් අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් වටිනා ආධාර ලබා දීලා
තියෙන්නේ. දැන් ඒ හැමදේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත තියෙන්නේ. ආධාර දීම
රටවල්වලට දිගට ම කරන්න බැහැ,” යනුවෙන් ඉන්දීය රජයේ ආරංචි මාර්ගයක්
රොයිටර්ස් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාවේ මෙම තීරණය
පුදුමයට කරුණක් නොවන බව ත්, මහා පරිමාණ සහය තවත් සුළු කාලයකට ඉදිරියේදී
ලැබෙන බව නව දිල්ලිය මීට මාස කිහිපයකට පෙර “සංඥා කර” තිබුණු බවත්ය.

කෙසේ වෙතත්, මෙම වසර අගදී ජපානය, චීනය සහ සමහර විට දකුණු කොරියාව සමග
ශ්‍රී ලංකාව පැවැත්වීමට සැලසුම් කර ඇති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවට
ඉන්දියාවට ආරාධනා කරන බව එම මූලාශ්‍රය ප්‍රකාශ කර තිබේ.

තව ත් ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ, ඩොලර් බිලියනයක
හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා සහ මැයි
මාසයේදී සිදු කරන ලද ඉන්ධන මිල දී ගැනීම සඳහා දෙවන ඩොලර් මිලියන 500ක ණය
මාර්ගයක් සඳහා වූ ඉල්ලීම සුළු ප්‍රගතියක් ලබා ඇති බව ය.

ඉන්දියාවේ මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී
ලංකා මහ බැංකුව මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව
ප්‍රතිචාර නොදැක්වූ බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැප්තැම්බර් මස මුලදී ඩොලර්
බිලියන 2.9ක ණයක් ලබා ගැනීම සඳහා මූලික ගිවිසුමකට එළැඹි අතර එය නිල ණය
හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සහ පුද්ගලික ණය හිමියන් සමග සිදු
කෙරෙන සාකච්ඡා මත රඳා පවතී.

“අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහ අප විසින් ම මෙම අවුලෙන් ගොඩ ඒමටයි,”
යනුවෙන් මෙරට මූලාශ්‍රයක් පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරට ත්
වාර්තා කර තිබේ.