මෛත්‍රී මොඩිෆයි කර පදිංචිව සිටි සුපිරි නිල නිවස ජනපති රනිල්ට

house

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචිව සිට පසුව නීතිමය කටයුතු
නිසා දැනට ඉවත්ව සිටින කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර) පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටින අතර එය ආරක්ෂක හේතුමත හෙළි කර නැත.
විකල්ප ලෙස ජනාධිපති මන්දිරය හෝ අරලියගහ මන්දිරය ජනපතිවරයාගේ පදිංචියට යොදාගත හැකි නමුත් ඒ ස්ථාන දෙකෙහි පිළිසකර කටයුතු සදහා තව දිගු කලක් ගතවන බව වාර්තා විය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පරිහරණය කළ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහුටම ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය තීරණයක් ලබාගත් අතර එම තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු 29වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදිය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති
සරවනමුත්තු මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ අතුරු
ඉල්ලීම් පිළිබඳ විභාගයෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම තීරණය නිකුත්
කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී භාවිත කළ කොළඹ-07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට 2013 ඔක්තෝබර් මස 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇතැයිද, එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ යැයිද තමන්ට හිමි වරප්‍රසාද ලබාගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැණි යැයිද සඳහන් කරමින් පෙත්සම්කාර පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම ක්‍රියා කලාපයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන මහතා සිය බලය
අයුතු ලෙස පරිහරණය කොට ඇතැයිද, එම කාල සීමාවේදී මහජන මුදල් රුපියල්
මිලියන 180ක් වැය කර අදාළ නිවස අලුත්වැඩියා කර ඇතැයිද පෙන්වාදෙන
පෙත්සම්කරු පාරදෘෂයභාවයකින් තොරව ගනු ලැබූ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද පෙන්වාදී තිබිණි. මෙම පෙත්සමට අදාළ අතුරුඉල්ලීම් පිළිබඳ විභාගය පැවැත්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවසක් නොවන්නේ යැයිද දන්වා තිබුනි.
මෙම නඩුව අවසන්වරට විභාගවූ මැයි මාසයේ අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවෙසින් ඉවත් කෙරිණි.
තවමත් පෙත්සම විබාග වන අතරවාරයේ ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කර ඇත.