සනත් නිශාන්ත හා සමන්ලාල් ඇප මත නිදහස් ඩෑන් ප්‍රීයසාද් තවමත් බන්ධනාගාරයේ

Sanath-Nishantha-and-Samanlal-696x522-1

මැයි මස 9 වැනිදා ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය
සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත්
නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, එක් සැකකරුවෙකුට මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කරන බවයි.
ඩෑන් ප්‍රීයසාද් නමැත්තාට ඇප නොදුන් අතර ලබන 22 වැනිදා දක්වා තවදුරටත්
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූයේ ඔහුට තවත් නඩුවක ඇප මතසිටියදී මෙම වරද සිදුකිරීම නිසාය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
මහතාට ස්ථාන මාරුවීමක් දෙන ලෙස සහ පොලිස් ආඥා පනත යටතේ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව අධිකරණයට කරුණු දක්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.

මේ අතර අධිකරණ ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,
පාර්ලිමේන්තු මන්ත්‍රී නිලාන් ජයතිලක ඇතුළු සෙසු සැකකරුවන් අද අධිකරණය
හමුවේ පෙනී සිටියේ ය.