ඕමාන් ගෑස් ගෙනාවොත් සිලින්ඩරය 7000යි

Litro-Gas

රසම්පාදන ක්‍රියාවලියෙන් සහ කැබිනට් අනුමැතිය හිමි වූ තායිලන්ත සියාමි
සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා මීට පෙර සැපයුම්කරු වූ ඕමාන්
සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට සූදානම් වීම හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යෑමේ අවදානමක් පවතින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සියාම් සමාගම වරාය, රක්ෂණ, නෞකා ගාස්තු ලෙස
මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 96 ක මුදලක් අයකරන බව දැනුම් දී ඇත.

මීට පෙර ගෑස් සැපයුම් කළ ඕමාන් සමාගම ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 129 ක මුදලක් අයකරන බව දැනුම් දී තිබේ.

එහෙත් සියාමි සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා ඕමාන් සමාගමෙන් ගෑස්
මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ලිට්රෝ සමාගමට බලපෑම් එල්ල වී ඇති බවද
වාර්තා වෙයි. එලෙස ඕමාන් සමගමෙන් ගැස් මිලදී ගැනීමේදී ඇමෙරිකා ඩොලර් 34 ක් වැඩියෙන් ගෙවා ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් ගෘහස්ථ ගැස් මිල ඉහළ
දැමීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරුන් වන තෙෂර ජයසිංහ හා විජිත හේරත්ට ඉවත් වීමට සිදු වූයේද මෙම සිද්ධිය හේතුවෙන් බව ලිට්රෝ ගෑස් සමාගමේ සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

සියාම් සමාගමෙන් ගෑස් මිලදී ගතහොත් ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රුපියල් 5000 කට පමණ පාරිභෝගිකයාට ලබාදිය හැකි බව ලිට්රෝ සමාගම පවසයි. ඒ බව හිටපු සභාපති තෙෂර ජයසිංහ විසින් මුදල් අමාත්‍යාංශයටද මීට පෙර දැනුම් දී තිබුණි. ඕමාන් ගෑස් සමාගමෙන් ගෑස් ආනයනය කිරීමේදී සිලින්ඩරයක් රුපියල්
7000 ක් පමණ විය හැකි බවද ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක පාඩුවක් ලබන බවයි.

(උදයජීව ඒකනායක-Aruna)