උතුරු මැද පළාතේ තැලසීමියා රෝගින් අවදානමක

Thalassemia disease. Microscopic view of thalassemia.

උතුරු මැද පළාතේ තැලිසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට රුධිරය මාරු කිරීමට අවශ්‍ය රුධිර බහාලුම් මලු හා ඖෂධවල හිගතාවෙන් රෝගීන් 350ක් පමණ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බව එම රෝගීන් රැක බලා ගත්තා රෝගීන්ගේ දෙමවුපියෝ පෙන්වා දෙති.  තැලසීමියා රෝගීන්ට විශේෂිත වෙතම වාට්ටුවක් හා රෝගී සත්කාරක සේවා ඒකකයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින අතර එහි තැලිසීමියා රෝගීන් 300කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බවද ඔවුහු පවසති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂිත තැලසීමියා රෝගීන් සඳහා වූ වාට්ටුවක්
හෝ ඒකකයක් නොමැති වුවත් හඳුනාගත් රෝගීන් 100ක් පමණ පොළොන්නරුව මහ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කරන බවද පැවසෙයි.

කෙසේ න්වෙතත් මාසයක පමණ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනවලට සහභාගී වන හා රුධිරය මාරු කරගැනීමට පැමිණෙන රෝගීන්ට ලේ ලබා දීමට අවශ්‍ය රුධිර බහාලුම් හෙවත් ලේ බෑග් නොමැති වීමෙන් ලේ මාරු කිරීමට නොහැකිව රෝගීන් දැඩි අසරණ බවට පත්ව ඇති බවද දෙමවුපියෝ පවසති.

ඔවුන් නියමිත කාලවලට රුධිරය මාරු නොකළොත් ජීවිත අවදානම වැඩි වන බවද ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත් මේ පිළිබද පොළොන්නරුව හා අනුරාධපුර මහ රෝහල්වල අධ්‍යක්ෂවරුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය ව්‍යර්ථ විය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ තැලසීමියා ඒකකයේ රෝගීන් 300කට  වැඩි පිරිසක් සිටින බවත් ඔවුන්ගේ ලේ මාරු කිරීමට මසකට ලේ බෑග් 1000ක් පමණ අවශ්‍ය බවත්ය.

එම ලේ බෑග් හිගය උග්‍රව පවතින බවත් ලේ පරිත්‍යාගශීලීන් සෑහෙන පිරිසක්
සිටියත් ලේ ලබා ගැනීමට බෑග් නොමැතිකම විශාල ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කීය. ඖෂධ කිහිපයක හිගයක් පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැලිසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා රුධිර පාරවිලයන කටයුතු මහ රෝහලේ ළමා වාට්ටුවෙන් හෝ කුරුණෑගල හෝ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් සිදු කෙරෙන බවත් දැනට පොළොන්නරුවේ තැලසීමියා රෝගීන් සම්බන්ධයෙන් අවදානම්සහගත තත්වයක් උදා වී නැති බව පොළොන්නරුව ප්‍රාදේශීය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පැවසීය.