අගෝස්තු වනවිට ආහාර අර්බුදයක් – රනිල් වික්‍රමසිංහ

Sri Lanka PM_ Last administration 'to blame' for crisis 0-45 screenshot

ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් වන බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් වෙත
සජීවීව සම්බන්ධවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වත්මන්
ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වා තිබේ.

එළඹෙන සහල් වගා කන්නයට අවශ්‍ය පොහොර නොමැතිකම හේතුවෙන් අගෝස්තු මාසයේ සිට ආහාර අර්බුදයක් ඇති විය හැකි බව මෙහිදී රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය.
පොහොර නොමැති නිසා සම්පූර්ණ නිෂ්පාදනය නොලැබෙන බැවින් ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
“අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් ඇතිවීමේ හැකියාවක්
තිබෙනවා. ගෝලීය ආහාර අර්බුදයක් ද දිග හැරෙනු ඇත්තේ ද එම කාලයේ දී ය.

ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකම් අපි කොහොම ජීවත් වෙයිද කියලා බලන්න වෙනවා. අපිට කන්න නැතිව යනවා” ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මත දෙකක් පවතින බව
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේ නැගූ ප්‍රශ්න වලදී
පැහැදිලි කළේය.

ගාලුමුවදොර පිටියේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල අදහස වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බව වුවත්, එය නීතියට අනුව කළ හැකි වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහස යයි රනිල් පවසා ඇත.
තමා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව කිසිවක් සඳහන් නොකරන බවත් මෙහිදී රනිල් පැවසීය.

“පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා ශක්තිමත් කරන 19 වැනි සංශෝධනය යළි ස්ථාපිත කළ යුතු 21 වැනි සංශෝධනය සම්මත වූ පසු සියලු පක්‍ෂ නායකයන් සහ
ජනාධිපතිවරයා සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වැඩපිළිවෙළකට පැමිණිය යුතු බව මම යෝජනා කරනවා,” අගමැති රනිල් එහිදී කිය.

රට තුළ උද්ගතව ඇති විරෝධතා පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය
බලමණ්ඩලය (අවිශිබම) සටන්කාමී කණ්ඩායමක් ලෙස හැඳින්වීය.

අවිශිබම සටන්කාමී තරුණ කණ්ඩායමක් ඔවුන් පුරුද්දක් ලෙස වසරකට අවම වශයෙන් පෙළපාලි 5-6 ක් පවත්වනවා. ඔවුන්ට එරෙහිව පොලිසියත් පුරුද්දක් ලෙස  ජල ප්‍රහාර එල්ල කරනවා ඒක සාමාන්‍ය දෙයක්වෙලා.
නමුත් සාමාන්‍ය ජනතාව දැන් විරෝධතා දක්වනවා. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස තමන් මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය ජනතාවද විරෝධතා පවත්වනවා.
මගේ අරමුණ වැඩ කරලා මේවා ඉක්මනින් නැතිවන තැනට රට පත් කිරීමයි‘
අගමැතිවරයා පැවසීය.