රජය පළාත් සභා ඡන්දයට ලබන සතියේ සිට වැඩ

LC elections
කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වැඩකටයුතු ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසයි. සියලු පළාත් සභාවල නිල කාලය අවසන්වී මේ වනවිට වසරක් පමණ ගෙවී ඇතත් යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ පනත් සංශෝධනයක් හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධාවක් පැවතිණි.
මැතිවරණයට අදාළ සීමා නිර්ණ කටයුතු සිදුකිරීම සඳහා කමිටුවකට එය භාරදී තිබූ අතර, අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූයේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබිණි. යහපාලන ආණ්ඩු සමයේදී අදාළ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය තුනෙන් දෙක බහුතරයකින් සම්මත නොවිය. පසුව එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා එම වාර්තාව සමාලෝචනය කිරීමට කටයුතු කළද එම සමාලෝචන වාර්තාවද නිමකර මෙතෙක් ලබා නොදීමෙන්
පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල්ගිය අතර, අදාළ ගැටළු සියල්ල විසඳා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බවයි පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේය.
අවසන්වරට නිල කාලය අවසන් වූයේ ඌව පළාත් සභාවේ වන අතර, ඒ, 2019 වසරේ ඔක්තෝම්බර් 8 වන දිනය. ඊට පෙර අවසන් වූ පළාත් සභාව වන්නේ බස්නාහිර වන අතර, ඒ පසුගිය වසරේ අප්‍රේල් මස 21 වන දිනයි. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, වයඹ සහ උතුර පළාත් සභාවල නිල කාලය අවසන් වූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදිය. සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිල කාලය 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් විය ඒ අනුව මේ වනවිට සියලු පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.
අශන්ති වරුනසුරිය